Thursday, June 30, 2011

අද අන්තිම දවස...

දවස් දෙක තුනකින් මුකුත් දැම්මෙත් නෑ. අද ලියන්න කියල හිතන් හිටපු එක වෙන දවසක ලියනව. අද මේ ඔෆිස් එකේ වැඩකරන අන්තිම දවස... අවුරුදු කීපයක් කඹුරපු මේ ඔෆිස් එකෙන් අද මං යන්න ඕන. ලබන සතියෙ ඉදන් අළුත් විදිහට මම වැඩ. මේකට ආවේ දැනට අවුරුදු තුනහමාරකට විතර කලින් මට මෙතනට එන්න උදව් කලේ මාත් එක්කම එකට කලින් තැනක වැඩ කරපු එරංගයා. බුවා තමා මාව මෙතනට ගත්තේ. හැබැයි මම මෙතන දෙයියනේ කියල වැඩ කලා මට පුළුවන් උපරිමයෙන් ඒ නිසා ඔක්කොමල මාත් එක්ක හොදයි. අද හවස තමා මහා සමුගැන්ම තියෙන්නේ..

ලබන සතියේ අළුත් කොම්පැනියේ... ඒකෙත් මට දෙයියනේ කියල හොදින් මගේ වැඩ ටික කරගන්න පුළුවන්. මේ මෙහෙ ඉදන් ලියන අන්තිම පෝස්ට් එක. ඊලග ඒවා ලියන්නේ අලුත් තැනක ඉදන් අලුත් විදිහට. අලුත් පොරවල් ගැනත් ලියන්න ලැබෙයි සමහරවිට. එතෙක් ට ටා....:)

Monday, June 27, 2011

මිතුදම...

අපි ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම සෙට් වෙච්ච ගෙයක් තියෙනව ඒ බඩා ගෙ ගෙදර. මේක ඉතිං අපේ ‍ගේ වගේ තමා. අපි ට්‍රිප් යන්නෙත් සෙල්ලම් කරන්නෙත් සෙට් එකම එකට. අපේ සෙට් එකේ ඔක්කොම හතර දෙනයි මම, බඩා, ඩොලා, රනේ. අපි ටික හැමදාම හිටියේ එකට සහෝදරයෝ වගේ. ඔය අතරේ බඩා ගෙ ගෙදර ආරක්ෂාවක් තිබ්බා, දවසක කට්ටඩියෙක් එහෙම ඇවිත්. මේකට ඇවිත් හිටියා බඩාගෙ ගෙවල් ලග පොරක් නම ෆෙඩ්රික්, මෙයා බර්ගර් පොරක්. කොහොම හරි මේ පොරත් අපිත් එක්ක කතාවට වැටිල අපිත් එක්ක සෙට් උණා.

ටික කාලයක් යද්දී දන්නෙම නැතුව වගේ මෙයා අපේ හොදම යාළුවෙක් උනා. හැම පෝයටම දවල් මැච් එකක් ගහල හවස කළුතර යන පුරුද්දක් අපිට තිබ්බා හැබැයි එන්නේ රෑ 12- 1 වෙලා එන්න බස් නැතුව පාරෙ යන ලොරියක හරි අපි කටුබැද්දට එනව කටු බැද්දෙන් බැහැල පිළියන්දලට යන්නේ පයින්. අපේ බුවත් බර්ගර් උනාට හැමදාම අපිත් එක්ක යන මේ ගමනට එකතු වෙනවා. බුවා ගැන කියනවනම් හරිම හිත හොද කොල්ලා විනෝදයට බර ඉතාම හිතවත් පොරක්. හිනා වෙන්න දෙයක් නැත්නම් තමන්ට මඩයක් ගහගෙන හරි හිනා වෙවී ඉන්නව. අපේ ගෙදරක වැඩක් තිබ්බත් පොර ඇවිත් උගේ වගේ බලා කියාගෙන කරල දෙනව මොකද පොරට දෑතේ වැඩ ඉතාම හොදට පිහිටල තිබ්බ. බෝතලයකට තේකක් පුරෝගෙන වරෙන් බං ෂොට් එකක් ගහන්න කියල අපේ ආච්චිට ඇහෙන්න කියල හැමදාම ආච්චිව අවුස්සනව මට අද වගේ මතකයි.

මේ ඉන්න අතර තුරෙදී බුවාට ඩ්‍රයිවින් ජොබ් එකක් සෙට් උනා දැන් වැඩිය එන්නෙ නැති නිසා අපේ නැන්දා කෙනෙක් දවසක් මුගෙන් අහනව "ආ.. ෆෙඩ්රික් කාලෙකින් නෙ දැක්කේ.. මම දැක්ක ලගදි වාහනේකින් යනව" මූ ත් පෙරලා උත්තර දෙනව "ආ.. ඔව් ඔව් අපි දැන් වාහන වලින් නෙ ගමන් බිමන්....:)" ඔන්න බුවාගෙ උත්තර.

මූ සිකුරාදා දවසක අපේ ගෙදර ආවා "නංගී දන්නවද දැන් අයියා බැදලනෙ ගෙදරට කියන්න එපා කියල මට කිව්ව" මූ අපේ නංගිව අවුස්සනව. ගෙදර හැමෝවම හිනස්සන මේකා අම්ම බැන්නත් විහිළුවක් කරල හිනා වෙලා ඉන්නව. ඔන්න සිකුරාදා බුවා ඇවිත් ගියා. මමත් සෙනසුරාදා සුපුරුදු පරිදි වැඩට ගියා. ගෙදරින් කෝල් එකක් ආවා.. එහා පැත්තෙන් කතා කලේ අම්ම..

මම : හෙලෝ... ඇයි අම්ම
අම්ම : පුතා ෆෙඩ්රික් නැතිවෙලා.
මම: විහිළු කරන්න එපා මේ අප්‍රේ 1 දා නෙමේනෙ
අම්ම : නෑ නෑ ඇත්ත කළුබෝවිල ඉස්පිරිතාලෙට ලු ගෙනියල තියෙන්නේ.
මම : හරි හරි මම බලන්නම්

මගේ ලෝකය මොහොතකට නැවතුනා. කරන්නේ සහ කලයුත්තේ මොකක් දැයි මට තේරුනේ නෑ. දෙයියනේ ඊයේ රෑ ඇවිත් ගිය එකා අද උදේ..? ඔෆිස් එකේ යාළුවෙක් එක්ක මම වේගයෙන් කළුබෝවිල ඉස්පිරිතාලෙට ආවා. රොහලෙන් ආරංචි උනා ඇක්සිඩන්ට් උන අනිත් කෙනා පිළියන්දල ඉස්පිරිතාලේ කියල. මම එතනටත් ආවා එන්න පුළුවන් උපරිම වේගයෙන්. මෘත ශරීරාගාරය අසල ඉන්න සේවකයෙකුට මම යාළුවෙක් කියල කිව්වම මට බලන්න අවසර දුන්න. ඔළුවට සිදුවූ දරුණු තුවාලත් සමග මගේ යාළුව මෘතශරීරාගාරයේ වැතිර ඉන්නව.

මේ විපත අහපු ෆෙඩ්රික් ගේ තාත්තත් මේක අහල හෘදයාබාධයකින් මියගියා. මේ දෙනොගේම අවසන් කටයුතු එකම දිනයේ එකම ස්ථානයකදී එකටම සිදු කෙරුනා. ඇවිත් හිටපු යාළුවො කව්රුත් මෙය අවමංගල්‍ය රථයට දාන්න දුන්නේ නෑ සියළුම දුර රැගෙන ගියේ සියළුම මිතුරන්ගේ කර මතින්.

අපිව හිනැස්සූ අපි ලගින් සිටි හෘදයාංගම මිත්‍රයා අපේ කරමතින් අවසන් ගමන් ගියා. හිතවත් මිත්‍රය ඔබට නිවන් සුව..!

Thursday, June 23, 2011

හැම දේකම දෙපැත්තක් තියෙනව..

ඉස්කෝලේ යන කාලේ විතරක් නෙමේ අද උනත් මරණ ගේක නිදි මරණව කියන්නේ ෆුල් ‍ජොලි කේස් එකක් කියල නිදි මරන්න සෙට් වෙන ගොඩක් දෙනා දන්නව. අද කියන්න යන්නේ එහෙම වෙලාවක සෙට් වෙච්ච පොරක් කියපු රස කතාවක් මේක නම් ගොඩක් අය අහල ඇති. හිනා යන සීන් එකක් උනත් ඕනෑම දෙයක් ගැන ඕනාවට වඩා හිතන්න ගි‍යොත් එහෙම නම් මෙහෙම වෙනව. ඊයේ මේක ආපහු මතක් වෙච්ච හින්ද කියන්න කියල හිතුන.

ඔන්න ඉස්කොලයක් තියෙනව දන්නවනේ ඉස්කෝලෙක හැම ජාතියේම එවුන් ඉන්නවනේ මේකත් එහෙම එකක් මේකෙ දස කොල්ලෙක් ඉන්නව මෙලෝ දෙයක් කරන්නේ නැති. බුවා ඉස්කෝලෙ යන කාලේ මෙලෝ වැඩක් කරන්නේ නැති නිසා විභාගෙත් අල කරගෙන ඉක්මනින් ගෙදර හිටපු පොරක්. ඉතිං ජොබ් එකකුත් හොයා ගන්න බැරි නිසා අන්තිමේදී තීරණය කරල හමුදාවට බැදෙන්න. (ඒ දවස්වල 8 පාස් එවුන්ව ගත්තනේ)

ඔන්න ඇප්ලිකේෂන් එකත් හදාගෙන පොර යනව මේක තැපැල් කරන්න. යනකොට බුවාට හම්බවෙලා ඒ දවස් වල උගන්වපු සර් කෙනෙක් ඉතිං මෙයාත් සිද්ධිය සර්ට කියල. "පුතා හැමදේකම දෙපැත්තක් හියෙනව ඕන තීරණයක් දෙපැත්තම හිතල බලල ගන්න" සර්ගේ උපදේශයත් හිතේ තියාගෙන බුවා මේක පෝස්ට් කරන්න ගිහින්. ඔන්න වෙච්ච දේ.

ලියුම ලියුම් පෙට්ටිය ඇතුලට අත දාගෙනම පොර කල්පනා කරනව
ලියුම දානවද නැද්ද ? දැම්මොත් ප්‍රශ්න දෙකක් තියෙනව
මාව තොරගනීද නැද්ද ? තෝරගත්තොත් ප්‍රශ්න දෙකක් තියෙනව
මාව ආමි එකේ ලිපිකරු වැඩවලට තියාගනීද යුද්ධෙට යවයිද ? උතුරට යැව්වොත් ප්‍රශ්න දෙකක් තියෙනව
උතුරේ කෑම්ප් එකක මාව තියා ගනීද යුද්ධයේ ඉදිරි පෙරමුණට යවයිද ? යුද්ධෙට යැව්වොත් ප්‍රශ්න දෙකක් තියෙනව
මට වෙඩි වැදිල තුවාල වෙයිද බෝම්බයක් වදීද ? බෝම්බයක් වැදුනොත් ප්‍රශ්න දෙකක් තියෙනව
මගෙ බොඩි එක ගෙදර එවයිද නැද්ද ? ගෙදර එව්වොත් ප්‍රශ්න දෙකක් තියෙනව
අ‍පේ අම්මල ඒක ආදාහනය කරයි ද ? භූමිදානය කරයි ද ? ආදාහනය කලොත් ප්‍රශ්න දෙකක් තියෙනව
මගේ අළු ගගේ පා කරයි ද ? තැන්පත් කරයිද ? ගගේ පා කරොත් ප්‍රශ්න දෙකක් තියෙනව
අළු පා වෙයිද යට යයි ද ? යට ගියොත් ප්‍රශ්න දෙකක් තියෙනව

මේ අතරේ අපේ එකෙක් නැගිටල අරූගෙන් අහනව මට ප්‍රශ්න දෙකක් තියෙනව උඹ මේ කතාව ඉවර කරයි ද ? නැද්ද ?

"හරි හරි බං හිටපන් පොඩ්ඩක්"
ඔන්න ආපහු කතාව
මේක වැලිගොඩදාන මිනිස්සුන්ට අහුවෙලා වැලි වල අමුත්ත නිසා පරීක්ෂකයින්ට දෙයි ද ? නැද්ද ? එහෙම දුන්නොත් ප්‍රශ්න දෙකක් තියෙනව

මේ පරීක්ෂනයෙන් වැලි යොදාගෙන වැලි කඩදාසි හදයි ද ? ටොයිලට් පේපර් වගේ දෙවල් හදයි ද ? යකෝ ටොයිලට් පේපර් කියන්නේ එක එකාගෙ පස්ස පිහිදන ඒවා. හමුදාව තියෙන්නේ එක එකාගේ පස්ස පිහිදාන්න නෙමේ. යන්නේ නෑ මම ඔය *** ට කියල බුවා ඇදල ගත්තලු ආපහු අර ලියුම.

ඔන්න ඔහොමයි උනා කියන්නේ. මේ කෙටි කරල දාලා තියෙන්නේ අපිට සෙට් උන පොර මේක රස කර කර පැය ගානක් කිව්ව කට්ටියගෙම නිදි මත නැතිවෙන්න.

Tuesday, June 21, 2011

කව්ද යකෝ තැඹිලි කැඩුවේ..



මේ තවත් ඉස්කෝලේ යන කාලේම සිද්ධවෙච්ච දෙයක් තමා. අපේ ගෙවල් ලග දේවාලයක් තියෙනව ඕකේ වාර්ෂික පෙරහැරක් තියෙනව. ඉතිං මේ ‍පෙරහැර බලන්න ඒ දවස් වලට අපේ නෑදෑයෝ එහෙම එනව ඉතිං අපිත් අපේ යාළුවො සෙට් එකට එහෙම කියල උන්වත් ඇදගෙන එනව.

මේ පෙරහැරෙන් සතියකට විතර පස්සේ තියෙනව ගම් මඩු උත්සවයක් ඒක ඉතිං රෑ එළි වෙනකම් එක එක නැටුම් තියෙනව අපිත් ඉතිං ඕක බලන්න අනිවාර්යෙන් සෙට් වෙනව. ඔන්න මේ කියන්න යන්නෙත් එක්තරා දවසක අපි ගම්මඩුව බලපු ආකාරය.

ඔන්න ගම්මඩුව තියෙන දවස වෙනකොට, අපි ගම පුරා ඇවිදල එක එක ගස්වල තියෙන ගෙඩි වර්ග එහෙම හොද දැනුමක් අරන් ඉන්නේ මොකද රෑ එළිවෙනකම් නැටුම් බලනව කිව්වට එක තැනක ඉදන් ඉන්න එක අපිට නිකම් අමාරු වැඩක් නේ. පොඩ්ඩක් ගම පුරා ඇවිදල ගස් ගෙඩියක් එහෙම කඩාගෙන කන එක සාමාන්‍ය දෙයක්. එදත් අපි වටේම තියෙන වැඩිය උස නැති තැඹිලි ගස්, ලගම ගෙදරක තියෙන දොඩම් ගහක් ගැන එහෙම අවධානයෙන් හිටියේ.

මට කලින් කියන්න බැරි උනා මේකට සෙට් උනේ මම, නුවන්, සමිත්, සංජීව සහ තව දෙතුන් දෙනෙක්. ඔන්න ඉතිං දැන් නැටුම් නැගල යනව ඒ අතරේ අපි සෙට් වෙනව අපේ කුරුම්බා ගේම් එකට. අනික වීරයෝ වගේ අපි ටික හිටියට එකෙකුටවත් පොල් ගස් නගින්න නම් බෑ ඒක තමා කොට ගස් හෙව්වේ.

ඔන්න දැන් මේ මහා මිෂන් එකට අපි ටික යනව.

සමිත් : ඒයි යන ගමන් දොඩම් ටිකක් කඩාගෙනම යමු.

දැන් කට්ටියම ඒක අනුමත කරල දොඩම් කකා යනව තැඹිලි කඩන්න. ඹන්න තැඹිලි ගහ ගාවටත් ආවා කළුවරේ පේන්නෙත් නෑ හද එළියෙන් ගේමට බැස්සා.

අනේ ගහ බදාගෙන එකාගේ කරපිට එකා නැගල බැලුවම තැඹිලි වල්ල නෑ... මේක හෙව්වේ නුවන් නිසා දැන් ඌට ඉන්න නෑ කට්ටියගෙන්.

නුවන් : හරි උඹලට තැඹිලි නෙ ඕනි වරෙන් යන්න බඩු තියෙනව.
සංජීව : කොහෙද බං ?
නුවන් : වරෙන්කො යන්න පණ්ඩිතය වෙන්නෙ නැතුව.

බැලින්නම් මේ යකා අපිව අරන් ගිහින් තියෙන්නේ උගෙ ගෙදර. "මචෝ මෙන්න ගහ මේකෙ තැඹිලි තියෙනව දැන් අම්මල නිදි ශේප් එකේ කඩමු" නුවන් ගේ විධානයත් සමග සංජීව වැඩේට බැස්ස. දුවගෙන ආවේ නැතෑ මුගේ බල්ල.

නුවන් : බනි ...බනි... බනි (බල්ලගෙ නම බනි- ඒක කිව්ව විතරයි බල්ල සද්ද නෑ)

අන්තිමේ නුවන් ම ඉනි මගක් ගෙනත් අපිට තැඹිලි කඩල දුන්න. පාරේ ඉදගෙන ඒවා බීල මහා වැඩක් කරපු වීරයෝ වගේ ආපහු නැටුම් බලන්න ආවා.

ගෙදර සැර බල්ලෙක් ඉදලත් උගෙන් බේරිලා ගහේ තැඹිලි ටික බීපු එකට නුවන් ගෙ අම්මල ට මල පැනල. බල්ලට ත් එක්ක ම බැන බැන ඉන්නව. හොරා ගෙදර ඉන්නේ කියල අදටත් දන්නේ නෑ

ඔන්න ඔහොමයි තමන්ගේ ගෙදරින් හොරෙන් තැඹිලි බිව්වේ.

Friday, June 17, 2011

ආඩම්බර ගෑනියෙක් හොට බිම ඇණ ගනී..



මේ කතා කරන මාතෘකාව ගැන මම කලින් කථා කලානේ ඒක තමා 01 කොටස විදිහට මේ තියෙන්නේ. අද ලියන්න යන්නේ මම දැකපු තවත් සිදුවීමක්.

අපේ ගේ ඉස්සරහම ගෙදර ඉන්නව ඇන්ටි කෙනෙක් එයා ඉස්පිරිතාලේ නර්ස් කෙනෙක්. හැබැයි හරිම ආඩම්බරයි ගමේ මනුස්සයෙන් එක්ක කතා කරනව තියා මූණ බලල හිනා වෙන්නේ වත් නෑ. මේ නිසා ගමේ හැමෝම බණිනව. හැබැයි එයාගේ හස්බන්ඩ් නම් හොද මනුස්සයා හැමෝම එක්ක හොදින් ඉන්නව.

මේ ලගදි මෙයාලා කාර් එකක් අරන් රතුපාට මරුටි වර්ගයේ එකක් , අංකල් කෙසේ වෙතත් මේක අරන් යන්නේ ඇන්ටි. දැන් ආඩම්බර කම දෙගුන තෙගුන වෙලා හැමෝම හිනා වෙනව තටු ඇවිල්ල කියල. හැබැයි මෙයාගෙත් ඩ්‍රයිවින් ගැන නම් කතා කරල වැඩක් නෑ.

දැන් අපිටත් ඇහෙන්න තමා කතාව ෂොපින් යන්න කඩේට බඩු ගෙන්න යන්න දැන් මෙයාට වැඩ කෝටියයි. අපිටත් පොඩි පහේ ජොලියක් තියෙනව මොකද නොමිලේම ෆිල්ම් එකක් බලන්න පුළුවන්නේ.

පහුගිය දවස් දෙක තුනේ මට නිවාඩුවක් අරන් ගෙදර ඉන්න චාන්ස් එකක් හම්බ උනා. ඉතිං දන්නවනේ නිවාඩුවක් ආපු ගමන් යාළුවෝ එහෙම සෙට් වෙනවනේ. අපි ඉතින් කට්ටිය සෙට් වෙලා පාර ගාවට වෙලා කතා කර කර ඉන්නවා.

ඔන්න සුපුරුදු ආකාරයට ඇන්ටි ඉබ්බෙකුට පොඩ්ඩක් ‍වේගයෙන් වාහනේ අරන් ආවා. ආපුගමන් එන්ජින් එක ඕෆ් කලා. දැන් බැහැලා ඇවිත් ගේට්ටුව එහෙම ඇරල ආපහු ස්ටාර්ට් කරල වාහනය ඇතුලට දාන්න හැදුවා (ඒ අතරේ දෙතුන් පාරක් වාහනේ හිටල අමාරුවෙන් ක්ලච් එක දීපු එක මම කිව්වෙ නෑ ඕං) හත්ඉලව්වයි මේ මනුස්සය හෑන්ඩ් බ්රේක් ඕෆ් කරල නෑ. පිටිපස්සේ රෝද දෙක කැරකෙන්නේ නැතුව වාහනේ අමාරුවෙන් ඇතුලට දැම්ම.

ගෑනි දැනගත්ත වැඩේ ඇනුන කියල. ඩෝං ගාලා ගේට්ටුවත් වැහුව (අපි නම් හිනා උනේ ඊට පස්සේ ඕං).
මේ කේස් එකෙන් පස්සේ හොදම වැඩේ කියන්නේ මේ වෙනකොට ඒ කාර් එක විකුනල. දැන් ඇන්ටි සුපුරුදු ලෙස පයින් ම යනව. හැබැයි අර ආඩම්බර කම් නම් තාම එහෙමමයි.

ප:ලි : - ඕනෑම දෙයක් ඕනෑම කෙනෙකුට බැරි වෙනව කියනඑක සාමාන්‍ය දෙයක් අපිටත් කොච්චර දේවල් බැරිද. මේක ලිව්වේ මේ මනුස්සයගේ තියෙන ආඩම්බර කම හින්ද මිසක් අපහාස කරන්න නෙමේ.

Tuesday, June 14, 2011

ආදී මානවයෙකුගේ පොසිලයක්....



ඉස්කෝලේ A/L Science කරන හැමෝටම මූණ දෙන්න වෙන එක කඩඉමක් තමයි Science Exhibition එක කියන්නේ. මේකට මුළු ඉස්කෝලෙම ළමයි එකතුවෙලා මොනව හරි හදනව. හැමෝම ආසයි තමන්ගේ දැනුම හැමෝටම පෙන්වන්න පුළුවන් නිසා.

මේක බලන්න අහල පහල ඉස්කෝල වල කෙල්ලො සෙට් එකත් එන නිසා දෙන්න පුළුවන් උපරිමෙන් අපේ එවුන් වැඩේට සෙට් වෙනවා. මේ කියන්න යන්නේ අපේ කට්ටිය Exhibition එකට හදපු දෙයක් ‍නෙමේ දැනට කොරියාවේ වැඩ වාසය කරන ගයාන් සහෝදරයා ගෙනාපු ප්‍රදර්ශන භාණ්ඩයක් ගැන.

ගයාන් A/L වලට කලේ Bio Science නමුත් වැඩි හරියක් ඉන්නේ අපිත් එක්ක ඒ වගේම තමා හිත හොද එකා. හැබැයි කට ඇරියොත් පළාතටම දෙහි කපන පුරුද්ද බුවාට තියෙනව.

Exhibition එකට හැමෝම හදන දේවල් කලින් ම තීරනය කරනව. ගොඩක් අය කරන්නේ කණ්ඩායමක් වශයෙන් එකතුවෙලා හොද වටිනා නිර්මාණයක් එළිදක්වන එක. ඔය විදිහට තමා එක පාරක් අපේම සහෝදරයෙක් කාර් එකකුත් හැදුවෙ. (ඒක නම් සෑහෙන ප්‍රසිද්ධ උනා)

ඔන්න සතියකට විතර කළින් Bio මිස් එක එකාගෙන් තමාගේ නිර්මාණ ගැන අහනව සහ අවශ්‍ය උපදෙස් දෙනව. ඔය අතරේ අපේ ගයාන් සහෝදරයත් පැනපු ගමන් කියනව

"මිස් මට මානව පොසිලයක් හම්බ වුනා, අපේ මාම කෙනෙක්ගේ ලැබ් එකේ තියෙනවා මං ඒක ගෙනල්ල පෙන්වන්නම්"

මේක අමුතුම අන්දමේ දෙයක් නිසා හැමෝම කැමති උනා. මොකද මේ වගේ එකක් ආපහු දකින්න හම්බවෙන්නේ නැති නිසා. මිසුත් උඩ පැනල කැමති උණා.

ඔන්න දැන් Exhibition දිනය ලං වේගෙන එනව මිසුත් දකින දකින තැන ගයාන්ගෙන් පොසිලය ගැන අහනව මූත් හරි හරි මිස් වෙලාවට දෙන්නම් කිය කිය ඉන්නව.

කලින් දවසෙත් මිස් මුගෙන් අහනව "කෝ ගයාන් ඔයා ගේනව කියපු පොසිලය ගෙන්නේ නැද්ද ?"

"හරි හරි මිස් වෙලාවට දෙන්නම්" (මුත් පොර ටෝක් දෙනව)

ඔන්න Exhibition දවසේ උදේ මිසුත් බලන් ඉන්නේ මූ ගේන පොසිලය බලන්න. ඔන්න ගයානයා උදේම දුවගෙන එනවා පෙට්ටියකුත් අරන්. ඇවිත් මේසයක් එහෙම අස් කරල මු වැඩේ පටන් ගත්තා පෙට්ටිය අටවලා බෝඩ් එකකුත් ගැහුව.

"ආදී මානවයෙකුගේ පොසිලයක්" වට කරල තියෙන එකෙන් හැමෝම දැන් එබිල බලල හිනාවෙලා යනව මිසුත් දුවගෙන ආවා, එබිල බැලුව, බලපු ගමන් මූට බැන බැන යනව.

බැලින්නං මූ බෝඩ් එකත් ගහල වට කරල අරන් ඇවිත් තියෙන්නේ මූණ බලන කණ්නාඩියක්. බලන එවුන් තමා මානව පොසිලේ.

මිස් බැන බැන හිටපු හැටි හිතා ගන්න පුළුවන් නේද ?

Friday, June 10, 2011

අත්හදා බැලීම් වලින් ගොඩ යනවද ?

මට මේ කතාව ලියන්න හිතුනේ ගලායන ජීවිතය ලියන නදී ගේ පෝස්ට් එකක් දැකල. ඒක බලා ගන්න කැමති අය මෙතනින් ගිහින් ඒක බලා ගන්න. අද කියන්න යන්නේ කාටවත් සිද්ද වෙච්ච මඩ සීන් එකක් නෙමේ මේ මගේ අත්දැකීම් තුළින් මට හිතෙන හැටි.

නදීගෙ කථාවේ එක තැනක කියනවා "දකින දකින දේවල් කරන්න යනවට හොද වැඩේ කියල" මේක මම නම් දකින්නේ මේ විදිහට ඒකට අදාලව තව කතා දෙක තුනක් කියන්නම්.

පළවෙනි කතාව පටන් ගන්නේ මගේ ජීවිතයේදී මම දැකපු යාළුවෙක් ගෙන් පොර තමා ටීයා. ටීයා කියන්නේ O/L දවස් වල පන්තියේ හිටපු ජොලිම චරිතයක් වැඩියෙන්ම කලේ සිංදු කියන එක විතරයි. එක එක ටින් බෙලෙක්ක සෙට් කරගෙන ඇවිත් තනියම ගගහ සිංදු කියනව. සමහරුන්ට මේක ඒදවස් වල වදයක් වෙලත් තිබ්බ. කොහොමින් කොහොම හරි කාට කරදර උනත් මූ සිංදු කියන එක නැවැත්තුවේ නෑ. O/L පාස් උනා A/Lකලේ Art පස්සේ ඉස්කෝලෙන් අස් වෙලා ගෲප් එකක් හදාගෙන හිටිය ඒ වෙනකොට සංගීතය ඉගෙන ගෙන ඕනෑම සංගීත භාණ්ඩක් හොදට වැයීමේ හැකියාව පොරට තියෙනව. අද වෙනකොට ඩුබායි වල හොදම ලයිව් බෑන්ඩ් එකක් තියෙනව.

අනිත් එකා මගේ යාළුවෙක් ගේ ඉස්කෝලේ හිටපු එකෙක්. පොරට තිබුනේ D J පිස්සුව පොකට් රේඩියෝ කෑලි ගෙනල්ල වයර් කනේ ගහගෙන D J කරනවලු මගේ යාළුව සිංදු කියනව. මිනිහ අද ලංකාවේ ප්‍රසිද්ධ රේඩියො චැනල් එකක ප්‍රධාන D J, නමින් කව්රුත් දන්නව. (නම නං කියන්න බෑ, එදා සිංදු කියපු යාළුව තමා අද කැලිප්සෝ ගහන්නේ)

තව ගොඩක් අය ඉන්නවා එදා චිත්‍ර ඇදපු උන් අද හොදම කම්පැනි වල U I engineers ලා, ඉස්කෝ‍ලේ දස වැඩ ප්ලෑන් කරපු එකා අද ප්‍රසිද්ධ දුරකථන ආයතනයක Radio Network Planing කරනව.

මෙන්න හොදම දේ. අපේ ගෙවල් ලග පොඩි ලමයෙක් ඉන්නව මාත් එක්ක එකතුයි. මෙයාගෙ වැඩ වලට හැමෝම බනිනව, නමුත් මේ පොඩ්ඩ හරි අමුතු විදිහට හිතනවා. මේ වෙසක් එකට සල් උයනක් හදන්න පටන් අරන් අම්මට කියල බුද්ධ රූප වෙසක් කාඩ් එහෙම අරන් යන ගමන් කඩෙන් චුයින්ගම් එකකුත් අරගෙන. බුද්ධ රූපෙට ලයිට් දාන්න දන්නේ නැති නිසා සීයගේ ටෝච් එක උස්සල පිදුරු ගොඩක් අස්සේ තියල එළිවෙනකම් පත්තුකරල පහුවදා බැටරි බැහැල බැනුම් කෝටියයි.

පහුවදා එයාගේ අම්ම මේක අස් කරන්න බුද්ධ රූපෙ ගන්නකොට කූඹි කනවලු බැලින්නම් රූපය අලවල තියෙන්නේ චුයින්ගම් එකෙන්. ඒක පොඩි දෙයක් උනාට ඒ වගේ පොඩි එකෙක් ඒවගේ දෙයක් කරන එක හරිම වටිනව.

දවසක් මෙයා නැවක් හදල කාඩ් බෝඩ් වලින් පොඩි මෝටරයක් දාලා සින්ක් එකේ වතුර පුරවල මේක යවල. මේ වගේ කරන එවුන්ට අපි තව උදව් කරන්න ඕනි මම නම් හිතන්නේ මෙයාට කරදරයක් නොවෙන්න දුර ඉදන් අපි ආරක්ෂා කලොත් මෙයාගෙ ගමන මෙයා යයි.

මම නම් හිතන්නේ පොඩි කාලෙදි දකින දකින දේවල් කරන්න යෑම හා ඒවා අත්හදා බැලීම හොදයි හැබැයි ලොකු අය එයාලට කරදරයක් නොවෙන්න හැමතිස්සෙම වග බලා ගන්න ඕනි. මේ නිසා තමා තවමත් මම 3 idiot film එකට කැමති.

ප : ලි :- මේක ලිව්වේ නදී ගෙ පෝස්ට් එක ගැන විචාර කරන්න නෙමේ. මේ මට හිතෙන හැටි හරි වැරදි ඔයාලට.

තව එකක් කියන්න බැරි උනා මේ දවස් වල අර ළමය පොසොන් එකට මිහින්තලාවක් හදල මුවාවයි තිස්සවයි දුවවන්න ක්‍රමයක් කල්පනා කරනවා.

Thursday, June 9, 2011

පීට්සා කෑම..



අපි ඉස්කෝලෙ යන කාලේ ගැන අලුතෙන් කියන්න ඔනේ නෑනේ ඉතිං ඒ කාලෙදි අපිට වැඩිය සල්ලි තිබ්බෙත් නෑනේ. කොහොම හරි කට්ට කාලා කම්පියුටර් කෝස් එකක් කරන්න සෙට් උනා මේක තිබ්බේ හැව්ලොක් ටවුන් වල. අපේ ක්ලාස් එක ලගම තමා පීට්සා හට් එක තිබ්බේ. ඉතිං මේ ක්ලාස් එකෙත් බැච් එකේ ඉගෙන ගත්ත හොදම එවුන් ටික වැඩට ගත්ත. අන්න ඉතිං මටත් චාන්ස් එකක් වැදුන. ඔන්න ඔහොම තමා මගේ පළවෙනි ජොබ් එක සෙට් උනේ.

මේ ක්ලාස් එකේම තව මීඩියා ක්ලාස් එකකුත් තිබ්බ. ඕකේ හිටිය තව පොරක් නම ජයසිංහ, දැන් මේකට අදාල අනිත් කෙනා කලින් කතාවේ අදුරන ඉන්දික ඒක බලල නැත්නම් මෙතනින් බලන්න. තව ඒ දවස් වල ආමි එකේ අයට නොමිලේ ඔෆිස් පැකේජ් එක උගන්වන එකකුත් තිබ්බ ඕකට එනව වසන්ත කියල පොරක් ස්ටාෆ් එක වගේ තමා හරි ෆිට්.

දන්නවනේ කොම්පියුටර් ඉන්ස්ට්‍රක්ටර් කියන්නේ ලොකු පඩියක් තියෙන ජොබ් එකක් ‍නෙමේනේ. කොහොම හරි අතට එන ගානටත් කෙල වෙනවා මේ ලග තියෙන පීට්සා එක නිසා. තව එක දෙයක් අමතක උනා මේ ඔෆිස් එකේ නීතියක් තිබ්බා ඔක්කොමලා ටයි එකක් දාන්න ඕනි කියල.

මේ සීන් එක සිද්ධ වෙන්නේ ඔය කාලෙම තමා මේ කාලේ ටී වී එකේ ඇඩ් එකක් යනව අළුත් ප්‍රමෝෂන් පීට්සා එකක් රු 150/- යි කියල තව පෙට් කෝක් එකකුත් එක්ක.

ඉ : මචං මම යනව පීට්සා ගේන්න කාටද තව ඕනි.
ජ : මට නම් එපා..
ඉ : අඩෝ ලාබයි බං අලුත් ප්‍රමෝෂන් එකක් මම යනව ගේන්න
මම : මට පීට්සා එපා කෝක් එක දියන්
වසන්ත : හරි මමත් එන්නම්
මම : ටයි එක ගලෝගෙන පලයන්.
ඉ : පිස්සුද බං ඕනි නෑ

ඔන්න පොර 1000 ‍ටෝක් දීලා ගියා පීට්සා ගේන්න හැබැයි අතේ තියෙන්නේ රු 150/- ඒකත් එකතු කරල.

මෙන්න බුවා ගිය පයින්ම ආපහු එනවා ටයි එකත් ඇද ඇද බැලින්නම් 150 ට පීට්සා නෑ එක කෑල්ලක ගාන තමා ඒ. ඔය කතාව අපිට කිව්වේ වසන්තයා. ඒක අහල අපිට මැරෙන්න හිනා. මූ ටයි එකත් දාගෙන වීරය වගේ ගිහින් පච වෙලා ආපු සීන් එකට අපි කාලයක් මූව වැනසුවා. ඔය සීන් එක වෙච්ච ගමන් ජයසිංහයා කවියක් ලියල මගේ අතට දුන්න පහල දාලා තියෙන්නේ ඒක. ඒ කවියේ කියන්න ඕනි ඔක්කොම කියල තියෙනවා.

කන්නට ගොසින් ඉන්දිකයා ගෙන පීසා
එකතු කලා නොවැ හැම සතයක් පාසා
පුක උඩදමන් දිව්වා හිතිලා ආසා
ඉදපන් ඉතින් කෙටුවා වාගේ වස්සා

විලි ලැජ්ජාවේ පනයනව.

Friday, June 3, 2011

බත්තරමුල්ල අවන්හලේ කැලිප්සෝ..

මම කලින් කිව්වනේ මගේ කැලිප්සෝ කරන යාළුවෙකුගේ කතාවක් ඒක බලපු නැති අය ඉන්නව නම් මෙතනින් බලන්න පුළුවන්. අදත් ලියන්න යන්නේ එයාටම වෙච්ච තවත් සීන් එකක් මොකද මෙයාත් හැමදාම කැලිප්සෝ යන නිසා එක එක ජාතියේ පොරවල් සෙට් වෙනව.

මේ ලගදි දවසක් අපේ පොර ගිහිල්ලා බත්තරමුල්ලේ සුපුරුදු රෙස්ට්ටුරන්ට් එකට. ඒකේ එක එක ජාතියේ සෙට් බිබී ඉදල තියෙනව. මුන් ඉතින් කොනක ඉදන් හැම ටේබල් එකක් ලගටම ගිහින් සින්දු කිය කිය ඉන්නවලු ඔය අතරෙදි එක ටේබල් එකක ඉන්න සෙට් එකක් සාක්කුවට අත දාලා රු 2000/- ක ටිප් එකක් දීල තියෙනවා. එච්චර ගානකුත් දීපු ‍එකේ අපේ එවුන් සින්දු දෙක තුනක් වැඩිපුරත් කියල.

"මල්ලී රවුමක් ගහල ආපහු වරෙන්" ඒ සෙට් එකේ ආරාධනය අපේ ශානා ත් කරල තියෙන්නේ රවුමක් හිගින් ආපහු අතෙන්ටම ආපු එක දැන් ආපහු සින්දු කිය කිය ඉන්නවලු.

දැන් කට්ටියට හොද ගානට වැදිල "මල්ලි උඹලට මුකුත් දුන්නේ නෑනේ කියල (කලින් දීපුව මතක නෑ) ආපහු අත දාලා තව 2000 ක් දීල. ලග හිටපු තව එකෙක් 500 කුත් දුන්නලු දැන් ඒ ටේබල් එකෙන් විතරක් 4500 යි.

ඔය අතරේ දැන තව ටේබල් එකකට ඇවිත් බ්‍රිගේඩියර් කෙනෙක්. පොරත් යාළුවො සෙට් කරගෙන බිබී ඉන්නවලු මේ ඒ ටේබල් එක.

බ්‍රිගේඩියර් : මල්ලී ඉස්සෙල්ලම මේ සල්ලි ගන්න (රු 1000 ක් දික් කරයි) හරි මේ සින්දුව කියන්න (සින්දුවකුත් ඉල්ලලා)

සින්දුව ඉවර ‍උනාට පස්සේ බුවා රස කතා කියනවලු ඒ අතරේ ඊලග සින්දුවත් කියල මෙන්න ඊටත් පස්සේ

බ්‍රි : මල්ලී දැන් බලපන් උඹලට මේ වගේ රු 1000 ක් කව්රුත් දීල තියෙනවද ?

ශා: ඔව් සර්

බ්‍රි : කව්ද බං ?

ශා : අර ඉස්සරහ ටේබල් එකේ කට්ටිය

බ්‍රි : කීයක් දුන්නද ?

ශා : 4500

බ්‍රි : අම්මට *** මේ මොන බ්‍රිගේඩියර් කමක්ද මම එනව හෙට ඉදන් උඹලත් එක්ක සින්දු කියන්න.

( බුවා ගණන් හදල බලල අපේ අයියල මාසෙකට හොයන ගාන )


ප.ලි : මේ කතාවේ එන බ්‍රිගේඩියර් හරි ‍ජොලි පොරක්. මේ සංවාදය තව දිගට ගිහින් තියෙනව මේ කෙටි කරල තමා දාලා තියෙන්නේ.

Thursday, June 2, 2011

රංජිත් සර්ගේ දානෙ ගෙදර

මුලින්ම අද තියෙන්නේ සුභ පැතුමක් ධණ හා සෘණ කතාවේ එන ටීයා සහෝදරය ගෙ පවුලට අලුත් සාමාජිකයෙක් එකතුවෙලා දැන් පොර වගකීමක් ඇති තාත්තා කෙනෙක්. ඉතිං ටීයා ගේ ජීවිතේ සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව.

හරි අද කතාව, මම කලින් කිව්ව වගේ අපේ O/L පංතිභාර ගුරුවරු ගොඩක් මාරු උනා නේ අන්තිමට පංති භාර හිටි යේ රංජිත් සර්, රංජිත් සර් කොල්ලොත් එක්ක ෆිට් එකේ ඉන්න සාස්තරේ මරුවට දැනගෙන හිටියා ඒ නිසා පංතියේ හැමෝම සර්ට කැමතියි. ඒ නිසා එකෙ‍ක් වත් සර් ට පාර්ට් එකක් දාන්නේ නෑ උගන්වන වෙලාවට හැමෝම පංතියේ ඉන්නව හොදට ඉගෙන ගන්නවා. හැබැයි රංජිත් සර් ගෙන් පස්සේ අපේ පංතියේ කිසිම complain එකක් නෑ.

ඔහොම ඉන්න අතරේ රංජිත් සර්ගෙ තාත්ත නැති උනා මේක ඉතිං ඉස්කෝලෙට ආවේ විදුලි වේගයෙන් ඔන්න ඉතිං ඔයවගේ කේස් එකක් ආපු ගමන් ආයි ඉතිං කියන්න ඕනේ ‍නෑනේ එක එකා සෙට් වෙන ව රෑට නිදි මරන්න ඕමි ගහන්න වැඩ කෝටියයි. කට්ටිය දැන් ඉස්කෝලෙ එන්නෙත් නෑ රෑට මල ගෙදර තමා සෙට් වෙන්නේ. ඔහොම දවස් හතම කට්ටිය සෙට් උනා. මල ගෙදර කොටන් ඇදපු අපේ සියළුම දෙනාට සර් කතා කරල ස්තූති කලා හත් දවසේ දානයට ඔක්කොටම කතා කලා.

ඔන්න අපි දානෙ දවසේ සෙට්වෙලා දානෙ එහෙම බෙදලා සෙට් එක කයිය ගගහ ඉන්නව සර්ත් අපේ ලගට ඇවිත් කතා කලා කෑම කන්න. ඔන්න මමයි බඩයි අනිත් සෙට් එකයි වැඩේට සෙට් උනා. වැඩ කරල මහන්සි නිසා බඩාටත් හොද ගානට බඩගිනි වෙලා හිටියේ, තව ටිකක් කමු බං කියල ආපහු බෙදා ගන්න යන්න නැගිට්ටා විතරයි සර් දැක්ක, පොර හිතුවෙ කාලා ඉවරයි කියල.

"හා හා... පුතා කෝ දෙන්න පිගාන අරන් යන්න ඕනේ නෑ.." සර් පැනපු ගමන් අරූගෙ පිගාන ගත්ත මං දන්නව දැන් සිද්ධ වෙන්න යන දේ බඩා ශේප් එකේ අත හෝදගෙන ආවා.

බඩා ශේප් එකේ අපි ලගට ඇවිත් සර්ගෙ තාත්තට හාමුදුරුවෝ නොකරපු ජාතියේ පුන්‍යානුමෝදනාවක් කලා.


ප:ලි : පන්ති එන්නේ නෑ කියල කිව්වම පන්තියේ හිටපු එවුන් ඇන ගත්ත කියල හිතන්න එපා මොකද අපේ පංතියේ හිටපු ඔක්කොම O/L පාස් වෙලා A/L කරල ගොඩ ගියා.

Wednesday, June 1, 2011

ගැහැණු අයගෙ වාහන එලවීම...

මේක අද උදේ වෙච්ච දෙයක්, සාමාන්‍යයෙන් මම ඔෆිස් එන්නේ මගේ වයිෆ් වත් එයාගෙ ඔෆිස් එක ගාවින් දාගෙන. එයාටත් ලේසි නිසා. වෙනද වගේ අදත් මම අත්තිඩිය පාරෙන් එනකොට මට ඉස්සරහින් නිල් පාට පොඩි කාර් එකක් යනව හරියටම පාර මැද්දෙන් හිමින් හිමින්. ඒක කොච්චර හෝන් ගැහුවත් අයින් කරන්නෙත් නෑ තව එකෙකුට යන්න දෙන්නෙත් නෑ. හෙන ගේමක් දීල ඉස්සර කරල බැලුවම ඒ ක එලවන්නේ ගෑණු කෙනෙක්. බයෙන් බයෙන් හිමින් එළවගෙන යනව පාර මැද්දෙන්ම. ඒක නිසා මාර ට්‍රැෆික් එකකුත් ඇතිවෙලා.

මේ මම ගොඩක් අත්දැකපු සිද්ධි. මේ වගේ සීන් අපි කලින් කතා කරල තියෙනව අපේ එවුන් අතරෙ. ඇත්තෙන්ම ගෑණු අයත් වාහන එළවන එක අපිට හරිම ලේසියි මොකද වාහනේ අර‍ගෙන එයාලගෙ වැඩ තනියම කරගන්න පුළුවන් නිසා.

"අනික මචං අපිට කරදරයක් උනත් පාර්ටි එකකට ගියත් කරදරයක් නෑනේ වයිෆ් වාහනේ අරන් එනවනම්" මේ තව එකෙ‍කුගේ අදහස්.

"ඒත් මචං මෙයාලා බයෙන් පාරෙ වාහනේ එළවන එක මල කරදරේ අපිට යන්න බෑනේ බං" ඔය තව එකෙකුගේ අදහස් (අද උදේ මම දැක්කෙත් මේකම තමා)

"එක්කෝ හරියට එළවන්න ඕනේ නැත්නම් නිකං ඉන්න ඕනි"

දැන් නම් අදහස් ගලා එනව කට්ටියගෙම. මේ අතරේ මට ගොඩක් ප්‍රශ්න තියෙනවා

  1. ගෑණු අය වාහන එළවන්න හොද නැද්ද ?
  2. ඇයි බහුතරයක් දෙනා බයෙන් එළවන්නේ ?
  3. ඩ්‍රයිවින් ස්කූල් වල ප්‍රශ්නයක්ද ?
  4. අනිත් අය එයාලට වාහනේ එළවන්න දෙන්නේ නැද්ද ?

මට මේවට උත්තර නෑ.....