Wednesday, July 20, 2011

බැංකු මංකොල්ලය...

මොනව කියන්නද කියල හිතාගන්න බෑ. බ්ලොගේ පැත්තේ ආවේ සෑහෙන කාලෙකින්. මගේම කියල ව්‍යාපාරයක් පටන් ගන්න එක මාර ලේසි මාරම ෆ්‍රී දෙයක් කියල හිතුවට බැලුවම ඒක පට්ටම අමාරු වැඩක් හැබැයි මුල ඉදන් කට්ට කාලා දෙයියනේ කියල ගොඩ දා ගත්තොත් කාටද ආඩම්බර පුහ්...

ඔන්න ඉතින් මේ දවස් ටිකේ අන්ත්‍රස්දාන වෙලා හිටපු කේස් එක මේකයි. ඉතිං මට බිසී කියල බෑනේ ලංකාවේ ඉන්න බැරුව කොරියාවට එලවපු ගයාන් බුවා එහේ ඉදන් අහනව අඩෝ ලියන එක නැවැත්තුවද කියල. බුවා හිතන්න ඇති දැන් බුවාලට දෙයියනේ කියල සැනසිල්ලේ ඉන්න පුළුවන් කියල මොකද දවස් ගානක් ම කිසිම පෝස්ට් එකක් නෑනේ.

ඒකත් හරි කියමුකෝ ඔන්න වටිනාම දේ..... මගේ බ්ලොගේ බලන්න ආපු අය 5000 පැනල කාටද ආඩම්බර මට මාර සතුටුයි. මම මේක ලියන්න අරන් ඒ හැටි කාලයකුත් නෑනේ නමුත් 5000 නම් ඔන්න පහුකලා.. දැන් 24 දෙනෙක් මගේ පස්සෙන් එළවනවා ඒකත් මට ලොකු දෙයක්. මට ගොඩ යන්න තල්ලුවක් දුන්නු රංග සහ මාර සහෝදරයන්ට මේ වෙලාවේ ස්තූතිය පුදකරන්න ඕනි. මට කියල පලවෙනියට කොමෙන්ටුවක් දාපු අන්තර්ජාලයේ පළමු මිතුරිය වෙච්චි නදී ටත් ස්තූති කළ යුතුයි. අනික කොමෙන්ටු දාන නොදාන මේක බලන සියළු දෙනාටම අද ස්තූතියි කියන්නේ මාර සන්තෝසෙන්.

හරි ඔන්න අද කතාව

මේක නම් පොඩ්ඩක් පොඩි කතාවක් වේවි. ඔන්න අපේ A/L සෙට් එකේ තව එකෙක් හිටියා සහන් සහෝදරයා බුවාව ඒ දවස්වල බයිට් එකට ගන්නවා. ඒ බුවාට ඒ දවස් වල එක එක දේවල් මීටර් වෙන්න ටිකක් වෙලා යන නිසා. ඉතිං මෙයාව වැඩියෙන් බයිට් එකට ගන්නේ අපේ ගයාන් සහෝදරය ම තමා.

ඔන්න දවසක් අපි සෙට් එක කයිය දදා ඉන්නව මාතෘකාව උනේ එදා පත්තරේ තිබුනු හොරකමක් ගැන.

සහන් : බලහන් කො බං මාර හොරකම් නේ දැන් තියෙන්නේ මහ දවල් මං කොල්ල කනවනේ.

මම : ඔව් බං දැන් හොරු හැම තැනම.

ගයාන් : අඩෝ සහන් උඹ දන්නේ නෑ බං අපේ ගෙවල් ලග තියෙන ග්‍රාමීය බැංකුව මහ දවල් මංකොල්ල කෑවා.

සහන් : ඇයි බං සිකියුරිටි නැද්ද ?

ගයාන් : මොන සිකියුරිටි ද බං ඌ අර තුවක්කුව උස්සන් එනකොට අරුන් ගේම දීලා ගල්රෝලෙන් පටස් ගාලා පැනල ගියා.

සහන් : නෑ......

ප:ලි : සහන් ට කතාව මීටර් වෙනකොට ගල්රෝලට යට උනානම් හොදයි කියල හිතෙන්න ඇති.

Thursday, July 7, 2011

නුවර එළියේ චාටර් වීම 2..

කෙලින්ම දෙවෙනි කොටස පටන් ගන්නම් පළවෙනි එක බැලුවෙ නැත්නම් දුවල ගිහින් මෙතනින් බලලම එන්න.

හරි දැන් මම මූට පොර ටෝක් දීල ගියා වොෂ් එකක් දාගන්න. ගියාට මොකද පට්ට සීතලයි එළියෙ. සෙරෙප්පු නැතුව ඇවිදින්න වත් බෑ. ඇතුලට ගිහින් ටැප් එක ඇරිය අම්මත් කිව්වනේ නාන්න එපා කියල. ඒත් වතුරටික නම් අවුලක් නෑ (හොට් වෝටර් නේ :)) ඉතිං ඔන්න මූණ හෝදන්න පටන් ගත්ත ඒත් අවුලක් නෑ වගේ ඔන්න ඔහේ ඇගම හෝදනව කියල හිතාගෙන ඇගටම වතුර දැම්ම. ඇගට වතුර දාපු එකේ ආපහු තෙමන්න තියෙන්නේ ඔළුව විතරයිනේ ඔන්න ඉතිං නාන්නම ගත්ත දැන් වීරය වගේ මම නානව ඒ අතරේ අරූටත් මඩ කතා කියනව.

මේ වෙනකොට එරංගයගේ සීතල ගතිය ගිහින් බුවා ලැප දිගඇරගෙන ෆිල්ම් එකක් බලන්න පටන් අරන්. ඔන්න මම සබන් ගාන්න පටන් ගත්ත සබන් ගාලා ඉවර වෙලා ටැප් එක ඇරිය. මල හුටස්පරයයි.... ඔය එන්නේ ෆ්‍රිජ් එකට වඩා පොඩ්ඩක් කූල් වතුර මොන දෙයියන්ට කියන්නද සබන් ගාල නෙ ඉන්නේ ඇස් වහගෙන හිත තද කරගෙන සබන් ටික හේදුව. දැන් මාව ගැහෙනව අරූට වඩා වේගයෙන්. කොහොම හරි මම රෙද්දකුත් ඔතාගෙන එළියට ආව දැන් සීතලයි කියල කියන්නත් බෑ අපේ බුවා බලන් ඉන්නව මට රිටර්න් එක දෙන්න. ඒත් දත් ටික ගාව ටිකි පටියක් ඇද්දනම් ගැහෙන සංඛ්‍යාතය හොයාගන්නත් තිබ්බ.

මේ අතරෙ...

එරංග : මොකද බං ?

මම : ඇයි අවුලක් නෑ, නාලම ආවා බං

එරංග: ඇයි උඹට සීතල නැද්ද ?

මම: නෑ බං ගානක් නෑ (මාව එකසිය ගානට වෙවුලනව.)

කොහොම කොහොම හරි සීන් එක ෂේප් උනා දෙන්න එක්ක ෆිල්ම් එක බලල රෑ කෑමට සෙට් උනා. කෑම කන අතරේ

මම : එරංග, මාර වැඩක් උනානේ බං, නාන ගමන් හොට් වොටර් ඉවර උනානේ..

එරංග : උඹටත් උනාද ? මටත් ඕකමනේ බං උනේ. හොට්වෝටර් ටෑන්ක් එකේ කැපෑසිටි එක මදි බං.

මම: ඉතිං **** තෝ මට කියන්න එපැයි.

එරා: කියන්නේ කොහෙද උඹ වීරය වගේ ගියේ මමත් ඉතිං හිටියා නාල වරෙන් කියල.

බැලින්නං බුවාට වෙලා තියෙන්නෙත් මට වෙච්ච දේම තමා. දැන් මොනව කරන්නද බල මාළු කෑව බළල වගේ හිටිය. ඔන්න රෑවෙලා නිදාගන්න ගියා මොන විදිහෙන් වත් නිදා ගන්න බෑ පට්ට සීතලයි. රෑ ඇහැරිලා බලද්දී එරංගයා ඉන්නව ඔළුවයි ඇදයි අතරේ කොට්ටේ තියාගෙන බැලින්නම් ඇද අතරින් සීතල හුලං පාරක් එනව ඒක කෙලින්ම වදින්නේ ඔළුවට බුවා ඒක තමා කොට්ටේ තියන් ඉන්නේ මට සීන් එක දැකල හිනා ගියා. කොහොම හරි විටින් විට ඇහැරී ඇහැරී එළිවෙනකම් නිදාගත්ත. උදේ එළියට ආවා හොටෙල් එකේ මැනේජර් සෙට්උනා.

මැනේ: ගුඩ් මෝර්නින්.

අපි: ගුඩ් මෝර්නින්..

මැනේ: කොහොමද ඊයේ නින්ද ගියාද ? ඊයේ තමා මෙහෙ වැඩියෙන් ම සීතල තිබ්බෙ.

මෙහෙම කියපු බුවා ඊයේ රෑ උෂ්ණත්වයත් අපිට කිව්ව. නුවරඑළියෙ ආතල් දාන්න ගිය අපිට ඔන්න ඔහොමයි උනේ නුවරඑළිය එපා වෙලා චාටර් වෙලා ආවේ.

ප:ලි : රෑ සීතල වැඩි නිසා කාමරයෙන් එළියටවත් නොගිය එකත්, සීතල යන්න කියල කොට්ටපොර ක්‍රීඩාවේ යෙදුන එකවත්, සීතලට අදින එකක් අරන් නොගිය මං බ්ලැන්කට් එකක් ඔතාගෙන හිටිය හැටිත් මං ලිව්වේ නෑ ඕං..

Wednesday, July 6, 2011

නුවර එළියේ චාටර් වීම..

මම කළින් වැඩ කල කොම්පැණියේ (දැන්නම් ඒක කළින් වැඩකල තමා මම ඒකෙන් අයින් උනානේ) අපි කළේ එක්තරා ටෙලිකොම් නෙට්වර්ක් එකකට සර්විස් එක දෙන එකනේ. ඉතිං මේ සදහා ගෙන්නපු ටර්මිනල් වගයක් අරන් රට වටේම අපිට යන්න පුළුවන් උනා. ඒකෙන් ගත්ත හොදම දේ තමා රට වටේ සංචාරය. අනික ඉතිං අතින් පයින් යන්නෙත් නැති නිසා රවුම ගහල එනව. ඔය ට්‍රිප් එකට යන්න සෙට් වෙන්නේ මමයි එරංගයි තමා කලින් බුවා ගැන කතා කරල තියෙන නිසා බුවා ගැන දන්නවනේ. ඩ්‍රයිවර් ජොබ් එක අපි දෙන්නම මාරුවෙන මරුවට කරනව මොකද එක දිගටම වාහනේ එලවන්න බැරි නිසා.

ඔන්න දවසක් ටර්මිනල් වගයක් අරගෙන අපිට යන්න තිබ්බ ගල්නෑව, දඹුල්ල, ඉබ්බාගමුව, නුවර එළිය ඔන්න යන්න තිබ්බ ගමන් මාර්ගය. අහ්.. කලින් කියන්න බැරි උනා අපිට නවතින්න තැනක් මෙහෙන් සෙට් කරල තිබ්බේ නුවර එළියෙ ග්‍රෙගරි වැවට උඩින් තියෙන ලස්සන හෝටලයක.

ඔන්න ඉතිං පහුවදා උදේම යන නිසා කළින් දවසෙම මම වාහනේ අරන් ගියා. දැන් පාන්දරම ගමනට දෙන්න සෙට් වෙලා යනව දඹුල්ල, ඉබ්බාගමුව, ගල්නෑව දවල් වෙද්දී අපි කවර් කලා මගේ ඉතිහාසේ පලවෙනි වතාවට වැව් මාළු ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න හම්බඋනා මම හිතන්නේ ඒවා තියෙන්නේ එහෙ විතරයි. දැන් අපි යන වේගය අපිටවත් හිතාගන්න බැහැ ඒ තරම් වේගයෙන් යනව මොකද එරංගයට හොට්වෝටර් නෑමක් අවශ්‍යෙවලා හිටියේ. මට කියන්න බැරි උනා අපි මේ යන්නේ දෙසැම්බර් මාසෙ අනික මට සීතලට අදින ඇදුම් මොනවත් ගන්න අමතක උනා.

ඔන්න කොහොම හරි රෑ 8 විතර වෙනකොට අපි හෝටලයට ගියා. අපි ඉතිං රූම් එකට ගියා.

එරංගයා : ඒයි මම නාගෙන එන්නම් උඹ පස්සේ නාපං.

මම : හා, බොට නේ උන තිබ්බේ නාගෙන වරෙන් ඉක්මනින් මටත් මහන්සියි. (ඒ අතර මම ගෙදරට කෝල් එකක් ගත්ත අම්මට )

අම්ම: මොකද නිකන් කටහඩ වෙනස් වෙලා

මම: මෙහෙ අද මාර සීතලයි ඒකයි මේ

අම්ම: නාන්න එහෙම එපා එහෙනම් මූනකට විතරක් හෝදගන්න

මම: බලමු, මාර මහන්සියි නෑව නම් තමා හොද.

මේ අතර එරංගයා එනව දොර ඇරගෙන නිකන් බය වෙලා වගේ බුවා කුකුලෙක් වගේ ගැහෙනව. මට කියන්න බැරි උනා අපිදෙන්න වොෂ් එකක් දාලා එළියට යන්න හිටියේ ග්‍රෙගරි වැව වටේ ලස්සන නිසා.

මම: මොකද බං

මේකා කතාවක් නෑ ආපු ගමන් ඇදුම් තුන හතරක් ඇන්දා බ්ලැන්කට් එකක් ඇතුලට රිංග ගත්ත පටස් ගාලා.

එරංග : සීතලයි යකෝ මොනව හරි ඕඩර් කරපන්

මම ඉතිං රූම් සර්විස් කොල් කරල කෝපි ඕඩ්ර් කලා. ඕක බිබී හිටහන් මම වොෂ් එකක් දාගෙන එන්නම්. මම යන්න කලින් කෝපි එක ආවා මේ යකා ගුඩුස් ගාලා ඒක බීල දැම්ම තිබහට වගේ.

දැනට මේ ටික බලන්න හොදම හරිය හෙට දාන්නම්, මරු ම ටික උනේ පස්සේ...

Monday, July 4, 2011

කොස් දන්සල..


මේකත් ඉස්කෝලෙ යන කාලෙම වෙච්ච දෙයක් තමා. අපේ ගේ තියෙන්නේ මහ ලොකු ඉඩමක නෙමේ. ඉඩම පොඩි නිසාම බේතකට හරි කියල තියෙන්නේ ගස් දෙකක් විතරයි. එකක් පොල් ගහක් අනික ලොවි ගහක්. ඉතිං කොස් ටිකක් හරි පොලොස් ටිකක් හරි කන්න හම්බවෙන්නේ එක්කෝ සල්ලිවලට අරගෙන නැත්නම් හිතවත් කවුරු හරි දෙන දෙයකින්.

දවසක් මම ගියා අපේ යාළුවෙකු ගෙ ගෙදර එහෙ තියෙනව හොද කොස් ගහක් ඉතිං අපේ ගෙදරත් ඕව නැතිනිසා බුවා මට ගෙඩියක් කඩල දුන්නා. මම ඉතිං ඕක පැත්තකින් තියල කයිය ගහ ගහ ඉදල එන්න රෙඩි උනා. මේ වෙනකොට මට තිබ්බ බයිසිකලයක් ඉතිං ඒ දවස් වල ගමන් බිමන් යන්නේ මේකෙන් තමා. මේ එක්තරා අවුරුද්දක වෙසක් දවසට කලින් දවස.

ඔන්න මම එක අතකිස් කොස්ගෙඩියත් අරගෙන බයිසිකලේ නැගල අපේ බුවාගෙ ගේ ලගට වෙලා ඇතුලෙ කතා කරන්න බැරි හරිය කතා කර කර ඉන්නව ඔය අතරෙ පාරෙන් යනව ඉස්සරහ ගෙදර රොෂාන්. අපි නිතරම එහෙ සෙට් වෙන නිසා බුවාවත් අදුරනව.

රොෂාන් : ආ.. මොකද මේ කොස් ගෙඩියක් උස්සගෙන, යන්නද හදන්නේ ?

මම : ඔව්, බං මේ කොස් එකතු කරනවා මුං ගෙ ගහේ එක ගෙඩියයි පැහිල තිබ්බේ

රො : මොකද බං කොස් ?

මම: අපි දන්සැලක් දෙනව බං ගේ ලග එකට තමා කොස් .

රො : අර අපේ ගහේ තියෙන්නේ බං ඕන තරම් කඩන් පලයං

මම: එළ, කාවහරි දම්මල කඩල තියහංකො මම ට්‍රැක්ටරයක් අරන් එන්නම් දාගෙන යන්න.

රො: උඹ ෂුවර් එකට එනව නේද ? මම කඩල තියන්නම්.

මම: හරි හරි මම එන්නම්.

ඕක කියල මම ආවා. පස්සේ දන්නේ බුවා අම්බානකට කොස් කඩල මම ඉතිං පැත්ත පළාතේ ගියෙ නෑනේ අනික අපි දන්සැලක් දුන්න යෑ. :) මම නිකන් ඔහේ කියල දැම්ම නේ. බැලින්නං මම නැති තැන බුවා අපේ මෑණියන් සිහි කර කර ගමටම කොස් බෙදල. උඹ කොස් දන්සැලක් දුන්නද කියල ඇහුවොත් පොර අදටත් මාව මතක් කරනව.


ප:ලි : හැබැයි බුවා මාත් එක්ක තරහ උනේ නම් නෑ. රිටර්න් එක ගැන මම තාම බයෙන් ඉන්නේ අපේ අයියලගේ හැටි දන්න නිසා.

Saturday, July 2, 2011

හා බෙට්ටී..

අපේ ඉස්කෝලේ මිශ්‍ර පාසලක් නේ ඒ නිසා මේකෙ ගෑනු පිරිමි දෙජාතියම ඉන්නවා. සමහර පොරවල් ට ඉස්කෝලෙම එවුන් සෙට් වෙනව එහෙම ලව් සීනුත් මාර විදිහට තියෙනව. මේ කියන්න යන කථාවත් සිද්ධ උනේ අපි O/L ලියන කාලෙම තමා හැබැයි මේක අපේ පන්තියේ වෙච්ච දෙයක් නෙමේ. වෙන පංතියක දෙයක් නමුත් මොනව උනත් විදුලි වේගයෙන් වෙන දේවල් ආරංචි වෙන නිසා මේක ක්ෂණයකින් අපි දැන ගත්තා.

සිද්ධියට සම්බන්ධ එක් කෙනෙක් නම් හොරෙන් තැඹිලි කඩපු නුවන් අනෙත් කෙනාට අපි අනූෂා කියල කියමු. මෙහෙමයි කතන්දරේ ඔන්න අපේ අනූෂාට කොල්ලෙක් සෙට් වෙලා හැබැයි මෙයා අපේ ඉස්කෝලේ කෙනෙක් නෙමේ. කොහොම කොහොම හරි මේ සීන් එක සෑහෙන කාලයක් තිබිල තියෙනව. පස්සේ මොනව හරි කේස් එකක් වෙලා කොල්ල කෙල්ලට සපත්තුව දීල (බූට් සපත්තුව ඕන කෙනෙක් දන්නවනේ) කෙල්ලට මේක දරාගන්න බැරිවෙලා ජීවිතෙත් එපා වෙලා.

අනූෂා : නුවන් මට ඉදල වැඩක් නෑ මොනවහරි ගෙනත් දීපන් මම බීල මැරෙනවා (වහ ටිකක් ගෙනත් දෙන්න කිව්වේ මරු මිනිහට මොකද නුවන් කියන්නේ ඉස්කෝලේ හිටපු තවත් ජොලි පොරක්.)

නුවන් : හරි මම ගෙනත් දෙන්නම් අපේ ගෙදර තියෙනව මරු ජාතියක් බිව්ව ගමන් බඩු හරි අපේ බල්ල වැරදිලා කාලා ඌ මලා (බුවා ගෙදර තියෙන වහ බෝතලේ වර්ණනා කරනවා.)

පහුවදා...

නුවන් : මෙන්න මේ ගුලි තුන කාපන් ටික වෙලාවකින් වැඩේ හරි (අපේ බුවා මේකිට වහ ටික දීලා) මෙයත් ගත්ත ගමන් ගහල ඇරියලු වහ ටික. මේක බිව්ව විතරයි අපේ නුවනයා බඩ අල්ලන් හිනාවෙනවා.

අනූෂා : මොකද බං හිනා වෙන්නේ ?

නුවන් : උබ බිව්වේ හා බෙටී.... :D (මේ කාලේ තමා නුවනයගේ අයියා හාවෝ දෙන්නෙක් ඇතිකරන්න ගත්තේ)

අනූ : මොනවද යකො මට මේ දුන්නේ මල ජරාව (මෙන්න මෙයා හෝ ගාලා වමනේ දානව)

නුවන් : යකෝ මැරෙන්න යනව නම් ඕන ජරාවක් බොන්න පුළුවන් වෙන්න එපැයි...

මේ වැඩෙන් පස්සේ තමා අනූෂා හා බෙට්ටි උනේ. හැබැයි මැරෙන අදහස නම් එහෙමම යට ගියා. අනේ මේ කෙල්ල දැන් නම් වෙන එකෙක් බැදල හොදින් ඉන්නව. හා බෙටි දුන්න නුවනයා මේ වෙනකොට ඩුබායි වල වාසේ. බුවා එහෙ ඉදන් මොනව කරනවද දන්නේ නෑ.